විශ්වයේ අහුමුලු සොයාගෙන ගිය කවුද මේ stephen hawking

More like this

දිනෙන් දින අලුත් වන විද්‍යාවේ නව සොයාගැනීම් තුලින් වර්තමාන ලොවට විශාල ආලෝකයක් ලැබී තිබේ. සියවස් කිහිපයක් තුළ විශ්වය පිළිබඳ අපගේ සංකල්ප සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් වී තිබේ. මේ සඳහා අතීතයේ මෙන්ම වර්තමානයේ ද සිටින විවිධ දාර්ශනිකයන්, විද්‍යාඥයන් ගේ නව සොයා ගැනීම් හා න්‍යායන් මහා පිටුවහලක් වී ඇත. මේවැනි විද්‍යාඥයින් අතුරින් ඉතා විශේෂ වූ පුද්ගලයෙක් ගැන මෙවර අවධානය යොමු කරමු. ඔහු නමින් ‘ ස්ටීවන් විලියම් හෝකින්ග්’. සිරුරින් කුඩා වුවත් ඔහු විසින් විද්‍යාවට කරන ලද්දේ අතිවිශාල සේවාවකි…
1942 ජනවාරි මස 8 වන දින (ගැලීලියෝ ගේ මරණයෙන් හරියටම වසර 300 ට පසු) උතුරු ලන්ඩනයේ දී ෆ්‍රෑන්ක් හෝකින්ග් හා ඉසබෙල් හෝකින්ග් දාව උපන් ස්ටීවන් හෝකින්ග් 1959 දී රජයේ ශිෂ්‍යත්ව විභාගයකින් සමත් වී තම උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වුනි. 1962 වන විට සරසවියේ පළමු පන්තියේ උපාධියක් ලබා ගැනීමට හෝකින්ග් සමත් විය. නමුත් මේ වන විට හෝකින්ග් හට ප්‍රතිකාරයක් නොමැති ස්නායු ආබාධයක් වන’ Motor neuron disease’ රෝගයෙන් පීඩා විඳිමට සිදුවිය. 22 හැවිරිදි හෝකින්ග් පරික්ෂා කල වෙෙද්‍යවරුන්ගේ ඒකායන මතය වූයේ තවත් වසර 2ට වඩා ජීවත් වීමට හෝකින්ග්ට වාසනාව නොමැති බවයි. 


ඒ වුවත් තම ජීවිතයවත්, තම අධ්‍යාපනයවත් අවසන් කර ගැනීමට ඔහු පෙලඹුනේ නැත. වෙෙද්‍යවරුන් කී ලෙසම හෝකින්ග් වසර 2කින් මියගියේ ද නැත. ස්නායු ආබාධය නිසා ඔහුගේ ශරීරය අවයව අඩපණ වන්නට වූවත් ඔහුගේ බුද්ධියටවත්, ධෛර්යටවත් අභියෝග කරන්නට රෝගය සමත් නොවීය. මේ අභියෝගය හමුවේ වුවද 1966 දී හෝකින්ග් තම ආචාර්ය උපාධිය ලබා ගත්තේය. 1974 වන විට හෝකින්ග් හට තනිව කන්න, නැගිටින්න ට හෝ නොහැකි ව රෝද පුටුවකට යන්නට සිදුවිය. හෝකින්ග් 1971 වසරේ දී තම ප්‍රථම ග්‍රන්ථය වන ‘කාලය හා අවකාශය පිළිබඳ මහා පරිමාණයේ ව්‍යුහය’ සම්පාදනය කළේ ය. ඔහු විසින් ග්‍රන්ථ රාශියක් රචනා කරන ලද අතර ඒ අතරින් : 1984, කාලය පිළිබඳ කෙටි හැඳින්වීමක්, 1997දී ලොකු- කුඩා හා මිනිස් මනස, 2001දී ඉඳිකටුවක් තුළ ඇති විශ්වය, 2002 කාල අවකාශයේ අනාගතය,… වැනි පොත් හා තවත් පොත් රාශියක් ම රචනා කරන ලදී. ඔහු විසින් 1984 දී ලියන ලද A brief history of time ග්‍රන්ථය ලොව වැඩිම අලෙවියක් ලැබූ ග්‍රන්ථය ලෙස 1998 ගිනස් වාර්තා පොතට ද ඇතුළත් විය. 


කෙසේ වෙතත් 1985 වර්ෂයේ දී හෝකින්ග් හට කතා කිරීමේ හැකියාව මුලුමනින්ම නැතිවී ගියේය. එදා පටන් ඔහු තම අදහස් පත් කළේ ඔහුගේ කතාව හඩ බවට පෙරළිය හැකි පරිඝණකයක් මගිනි. හෝකින්ග් ලෝක ප්‍රකට සම්මාන හා ගෞරව නාම රාශියකට හිමිකම් කියන්නෙකි. මෑත කාලයේ දී ඔහු තරම් මෙහෙවරක් කළ කිසිදු විද්‍යාඥයකු නැත. කලු කුහර පිළිබඳ ව ඉතා වැදගත් න්‍යායන් ලොවට ඉදිරිපත් කරන්නට ඔහු සමත් විය. 2014 දී හෝකින්ගේ ජීවිත කථාව අල්ලා A theory of everything නමින් චිත්‍රපටයක් නිර්මාණය විය. 
2018 මාර්තු මස 14 වන දින මේ මහා විද්වතා මෙලොවින් සමුගත්තේය. ජීවිතයේ විවිධ බාධක හමුවේ පතාක යෝධයකු මෙන් නොසැලී සිටි මේ මිනිසා සැබැවින්ම විශ්මයජනකය. ආදර්ශමත් ය. මෙලොවින් සමුගත්තද විද්‍යාලෝකයේ ඔහු සදා අමරණීය වනු ඇත… 

You may also like :