මොරටුව විශ්වවිද්‍යාලයේ කෘතිම බුද්ධිය විද්‍යාවේදී උපාධිය – BSc (Hons) in Artificial Intelligence

More like this

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය ගැන ඔබ යම් තරමක් දන්නවා ඇති. මේ පිඨයෙන් 2010 දක්වා තොරතුරු තාක්ෂණ උපාධියත් (IT), 2010 සිට තොරතුරු තාක්ෂණය සමග, තොරතුරු තාක්ෂණය හා කළමණාකරණය (ITM) ප්‍රදානය කරනවා. ඒ අතරට අලුතින් ම එක්වුණ උපාධිය තමයි කෘතිම බුද්ධිය උපාධිය. මේ උපාධියට මූලික වී කටයුතු කරන්නේ තොරතුරු තාක්ෂණ පීඨයේ පරිගණන ගණිත දෙපාර්තමේන්තුව (Department of Computational Mathematics). 2020 උසස් පෙළ කණ්ඩායම මෙහි පළමු සිසු කණ්ඩායම වෙනවා වගේ ම ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘතිම බුද්ධිය විද්‍යාවේදී උපාධිය වෙන්නේ ත් මේ උපාධියයි. මීට කලින් තිබුණේ මොරටුව විශ්වවිද්‍යාලයේ ම කෘතිම බුද්ධිය සම්බන්ධ පශ්චාත් උපාධිය (MSc. In AI) පමණයි. ලංකාවේ කෘතිම බුද්ධිය හා සම්බන්ධ දක්ෂත ම මහාචාර්යවරයකු ඇතුළු ආචාර්ය මණ්ඩලයක් මෙහෙයවන මෙම උපාධියේ ප්‍රධාන ම අරමුණ, ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඇති කෘතිම බුද්ධි නිර්මාණකරුවන්ගේ ඇති අඩුකම මගහරවා ගෙන දක්ෂ කෘතිම බුද්ධි නිර්මාණකරුවන් පිරිසක් බිහිකිරීම

දැන් බලමු කෘතිම බුද්ධි සංකල්පය ගැන කෙටියෙන්.

පරිගණක යන්ත්‍රය අප දන්නා තරමින් බුද්ධියකින් තොර යන්ත්‍රයක්. ඒ කියන්නේ සියලු වැඩකටයුතු සිදු කරන්න මිනිස් මැදිහත්වීම අත්‍යාවශයයි. අපි කෙටියෙන් හැදින්වුවොත් කෘතිම බුද්ධියක් කියන්නේ මානව මැදිහත්වීමෙන් තොරව තනිව ම වැඩකරන යන්ත්‍රයක් හෝ මෘදුකාංගයක්. මේකේ මූලික සංකල්පවල සිට ගැඹුරු තාක්ෂණ වන Machine Learning, Deep Learning, Artifical Neural Networks, Agent Technology වගේ තාක්ෂණයන් බොහොමයක් තියෙනවා. මීට අමතර ව Automated Systems, Expert Systems, Embeded Systems, Artificial Cognitive Systems වගේ තාක්ෂණ ත් තිබෙනවා. මේ හැම දෙයක් ම සම්බන්ධව ඉගෙනගන්න සහ වැඩ කරන්න ගණිත සංකල්පවල තියෙන සම්භාවිතාව, සංඛ්‍යායනය, ශ්‍රිත ඇතුළු බොහෝ ගණිත සංකල්ප භාවිත වෙනවා. ඒ වගේ ම මේවා කේතකරන්න Python, Java, R, Prolog වැනි පරිගණක ක්‍රමලේඛ භාෂාවන් භාවිත කරනවා. මේ පද්ධති බොහොමයක් වැඩ කරන්නේ විශාල දත්ත ගබඩා සමග වීම නිසා දත්ත විද්‍යාව (Data Science), විශාල දත්ත හැසිරවීම (Big Data), දත්ත කැණීම් (Data Mining) සහ Ontology වැනි විෂයන් මේ හා සමගාමී ව පවතිනවා.

මේකේ Industry එක ගැන බැලුවොත්, මේ දක්වා industry එකේ Artificial Intelligence ආශ්‍රිත රැකියාවලට IT, CS, SE, Engineering උපාධිවල අයව අරගත්තා. ඒ හැම උපාධියක ම යම් කාලයක් (බොහෝ දුරට අවසාන වසර) Artificial Intelligence සම්බන්ධව හැදෑරීමක් කරන්න තියෙනවා. ඉදිරියටත් මේ උපාධිවලින් AI වලට පිරිස බදවා ගනියි. ඒ අතරට එකතු වෙන්න ඉන්න, AI විශේෂයෙන් හදාරලා ඉන්න පිරිස තමයි මේ කතාවෙන උපාධියෙන් එන්න ඉන්නේ. Industry එකේ Artificial Intelligence සහ Data Science සම්බන්ධ රැකියා තියෙන ආයතන කිහිපයක් තිබෙනවා. පහත දැක්වෙන්නේ ඒ අතරින් කිහිපයක්,

  1. Sysco Labs
  2. CodeGen
  3. Epic Lanka
  4. Virtusa
  5. Zone24x7
  6. Axiata Digital Labs
  7. IFS

මීට අමතරව බොහෝ මෘදුකාංග සමාගම්වල AI ආශ්‍රිත රැකියා අවස්ථා පවතිනවා. සාමාන්‍ය මෘදුකාංග ඉංජිනේරු රැකියා අවස්ථා ප්‍රමාණයට වඩා අඩු සංඛයාවක් සහ අඩු ආයතන සංඛ්‍යාවක් AI වලට තිබුණත්, සාමාන්‍ය මෘදුකාංග ඉංජිනේරු වැටුපකට වඩා තරමක් වැඩි වැටුපක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එය ආරම්භක වැටුපක් විදියට රු. 140,000/- සිට 200,000/- දක්වා පරාසයක තිබෙන වැටුප් ප්‍රමාණයක්. පිටරට තත්වය නම් ඊට වඩා වෙනස්. ජපානය, ජර්මනිය වගේ රටවල මේ විෂයට ඉතා ඉහල ඉල්ලුමක් තියෙනවා. මොරටුව විශ්වවිද්‍යාලයෙන් IT, ITM උපාධි හදාරන සිසුන් 20කට වැඩි ප්‍රමාණයක් සෑම වසරකම ජපානයට මේ විෂය හරහා රැකියා සදහා යනවා.

By Prasad Srimal